දෙවුන්දර ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සඳහා යොදාගත් බවට සැක කෙරෙන T56 වර්ගයේ ගිනිඅවිය කැකනදුර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අද (12) අළුයම සොයාගෙන තිබේ.
ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ තොරතුරු මත පොලීසිය මෙම T56 වර්ගයේ ගිනි අවිය සහ මැගසීනය සොයාගත් බව පැවසීය. එම පුද්ගලයා කුලී පදනම මත රැඳී සිටි නිවසේ මෙම ආයුධ සඟවා තිබුණි.
පසුගිය මාර්තු මස 21වනදා දෙවිනුවර දේවාලයේ වාහල්කඩ ඉදිරිපිට දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.
මෙම සිද්ධියේ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.